Database Management Systems - 1 වෙනි කොටස
හැඳින්වීම හා ඬේටාබේස් එකක් කලමනාකරණය කිරීමේ වැදගත්කම
අද ඉඳන් digit.lk සඟරාවේ මම ලියන ලිපි පෙලක ආරම්භක ලිපිය තමයි මේ ලියන්නේ. මේ ලිපි පෙලේ අරමුණ තමයි දත්ත-සමුදායන්, දන්න භාෂාවෙන් කිව්වොත් ඬේටාබේස් කලමණාකරනය කිරීම.මේ ලිපි පෙල ලියන්නේ පරිගණක ක‍්‍රමලේඛණය හදාරන්න වගේම පරිගණක ගැන වැඩිදුරටත් ඉගෙන ගන්න බලාපොරොත්තු වන අය සඳහා. ක‍්‍රමලේඛණය කරනවානම් ඬේටාබේස් ගැන හොඳ දැනුමක් තිබීම අනිවාර්යයි. ඒ වගේම පරිගණක උසස් අධ්‍යාපනයෙදි අනිවාර්යයෙන් හමුවන වගේම අත්‍යාවශ්‍ය විෂයයක් තමයි ඬේටාබේස් කලමණාකරණය. අද සිට ඇරඹෙන මේ ලිපි පෙලින් සරල සිංහලෙන් ඬේටාබේස් කලමණාකරණය ගැනත් එහිදී භාවිත වන SQL නම් භාෂාව ගැනත් ඉගෙන ගන්නට පුලූවනි.
දත්ත කියන්නේ මොනවාද කියලා නැවත නැවතත් කියමින් ඔබ වෙහෙසට පත් කරන්න බලාපොරොත්තුවක් නෑ. අපි මුලින්ම කතා කරමු ඬේටාබේස් එකක් කියන්නේ මොකක්ද කියන එක ගැන. ඬේටාබේස් එකකින් කෙරෙන්නේ මොනවහරි දත්ත සමූහයක් යම්කිසි නීති යටතේ පිලිවෙලකට රැස් කර තැබීම. අපි හිතමු කවුරුහරි පුද්ගලයෙක් තමන්ගෙ එදිනෙදා වියහියදම් පොතක දින අනුව පිලිවෙලකට සටහන් කරනවා කියලා. අන්න එතකොට ඒක ඬේටාබේස් එකක්. ඔය පාසල් සමිති වල සාමාජික නාම ලේඛණය දැකලා ඇති නේද? ඒකෙ එක් එක් සාමාජිකයා ගැන විස්තර සටහන් වෙලා තියෙනවා සාමාජික අංක පිලිවෙලට. අන්න ඒකත් තවත් ඬේටාබේස් එකක්. මේ කතා කරපු උදාහරණ දෙකම පරිගණක සම්බන්ධ නැති ඬේටාබේස්. අපි හිතමු අර සමිතිය තමන්ගේ සියලූ සාමාජිකයන්ගේ විස්තර පරිගණකයට අරගෙන සාමාජික අංක පිලිවෙලට සකස් කරලා තියනවා. අන්න එතකොට ඒක පරිගණක ඬේටාබේස් එකක්. සංකීර්ණ උදාහරණයක් ගත්තොත්, දැන් කවුරුත් පාහේ facebook පාවිච්චි කරනවනේ. facebook හි අපේ photos, notes, messages ආදිය කවදාවත් අනිත් userලා ගේ ඒවත් එක්ක මිශ‍්‍ර වෙලා අවුල් වෙන්නෙ නෑ නේද? ඒ ඒවා ඬේටාබේස් වල එක එක userලාට අනුව පිලිවෙලකට ගබඩා වෙලා තියෙන නිසයි.
මේ ආකාරයට ඬේටාබේස් එකකින් කෙරෙන්නේ අපේ දත්ත පිලිවෙලට ගබඩා කර තබාගැනීම බව වැටහෙන්න ඇති කියලා හිතෙනවා. මෙම ලිපි පෙලින් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පරිගණකගත ඬේටාබේස් ගැනයි.
ඬේටාබේස් එකක් ප‍්‍රයෝජනයට ගැනීමේ වාසි ගැන අවබෝධයක් ලබා දීමට පරිගණකගත ඬේටාබේස් කරලියට එන්න කලින් භාවිත කල (ඒ වගේම ඇතැම් විට තවමත් භාවිත වන* දත්ත ගබඩා කිරිමේ විධි එක්ක සසඳා බැලූවොත් වඩා පහසු වේවි. වැඩි වශයෙන්ම භාවිත වන ගබඩා ක‍්‍රමය files in folder නේ. උදාහරනෙකට අපි යම්කිසි සමාගමක් සිය සේවකයන්ගේ විස්තර ගබඩා කරල තියෙන්නේ එක් එක් සේවකයාගේ විස්තර එක් එක් කඩදාසියක අඩංගු වන ලෙස ෆෝල්ඩරයක කියලා. මේවා සේවක අංකයෙන් පිලිවෙලට සකස් කරලා තියෙනවා කියලා හිතමු. එතකොට අපිට අවශ්‍ය වුනොත් මොකක්හරි සේවක අංකයකට අදාල පුද්ගලයාගේ විස්තර ගන්න, ඒක පහසුවෙන් ගන්න පුලූවනි. නමුත් අපිට ඕනෙ උනොත් වයස 30ට අඩු අය තෝරන්න? අන්න එතකොට අපිට අර කඩදාසි ඔක්කොම බලන්න වෙනවා නේද? ඒ වගේම මේ ෆෝල්ඩරය අයිති සමාගමේ Management අංශයට කියලා හිතමු. සේවකයන්ගේ පඩිනඩි හදන්න, උසස්වීම් හදන්න Human Resource අංශයටත් සේවක විස්තර ඕනෙ වෙනවා. එතකොට ඔවුන්ටත් සිදුවෙනවා අර ෆෝල්ඩරයේම කොපියක් තියාගෙන ඉන්න. මෙහිදී අනවශ්‍ය දත්ත පිටපත් වීමක් සිදුවෙලා ඇති බව පෙනෙනවා ඇති. මේකට අපි කියනවා ා්ඒ රුාමබා්බජහ කියලා. ඒ වගේම කඩදාසි අඩංගු ෆෝල්ඩර ගබඩා කරගන්න සෑහෙන්න ඉඩ ප‍්‍රමාණයකුත් අවශ්‍යයි.
සාම්ප‍්‍රදායික ක‍්‍රම වල මෙන්න මේ වගේ අවාසි තිබුනු නිසා තමයි පරිගණකගත ඬේටාබේස් භාවිතයට ආවේ. පරිගණකගත ඬේටාබේස් මගින් පෙරකී අවාසි දුරු වී ඇති ආකාරය ගැන මදක් සිතා බැලීම ඔබට බාරයි.
ඬේටාබේස් එකක් තනිව ක‍්‍රියා කරන්න බැහැ නේ. ඬේටාබේස් එකක් කියන්නේ පද්ධතියක්. මොනවාද මේ පද්ධතියට අයිති?
1. ඬේටාබේස් එක
2. ඬේටාබේස් කලමණාකරණ පද්ධතිය
3. ඬේටාබේස් එක හා සම්බන්ධ මිනිසුන්
4. ඬේටාබේස් පද්ධතිය හා සම්බන්ධ දෘඩාංග (පරිගණක, ගබඩා මාධ්‍ය ආදිය)
අපි මෙහිදී ප‍්‍රධාන වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ දෙවැනි කාරණාව, හෙවත් ඬේටාබේස් කලමණාකරණ පද්ධතිය ගැන. ඬේටාබේස් කලමණාකරණ පද්ධතිය කියන්නේ මෘදුකාංග කීපයක එකතුවක්. මෙම මෘදුකාංග මගින් වෙනත් මෘදුකාංග වලට ඬේටාබේස් එක භාවිත කිරීමේ පහසුකම් ලබා දෙනවා.
ජනප‍්‍රිය ඬේටාබේස් කලමණාකරණ පද්ධති ගැන කතා කලොත්,
MySQL, Oracle, Microsoft SQL Server, PostgreSQL වැනි පරිණත මට්ටමේ ඒවා වගේම Microsoft Access, openOffice Base වගේ සාමාන්‍ය පරිගණක පරිශීලකයන්ට පහසුවෙන් පාවිච්චි කරන්න පුලූවන් ඒවාත් තියෙනවා. මෙම ලිපි මාලාවේදි මම පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන්නෙ MySQL කියන පද්ධතිය. ඒක නොමිලයේ ලබාදෙන එකක් වගේම පහසුවෙන් භාවිත කරන්න පුලූවන් එකක් නිසා. පාවිච්චි කරන පද්ධතිය කුමක් වුවත් බියක් ඇති කරගන්න අවශ්‍ය නෑ, මොකද කිව්වොත් මේ හැම එකේදිම භාවිත වෙන්නේ ලෝක සම්මතයක් වන SQL භාෂාව නිසා. මේ ගැන වැඩිදුර විස්තර පසුවට.
අවසන් වශයෙන් අද දවසේ කියන්න යන්නේ ඬේටාබේස් එකක් කලමණාකරනය කිරීමේ වැදගත්කම මොකක්ද කියන එක. ඬේටාබේස් එකේ යහපැවැත්මට හොඳ කලමණාකරණයක් අවශ්‍ය වෙනවා. ඬේටාබේස් එකේ වෙනස්කම් සිදු කිරීම, නව අංග එකතු කිරීම,වගේ දේවල් යහපැවැත්ම උදෙසා නිරතුරුව කෙරෙන්න ඕනේ. ඒ වගේම ආවාට ගියාට ඬේටාබේස් එකක් තියාගෙන ඉඳලා තේරුමක් නෑ. ක‍්‍රමලේඛණය කරන අය දන්නවා ඇති ඇයි තමන්ගෙ source code එක පිලිවෙලකට comments එහෙම දාලා, අඩු resources භාවිතයක් වෙන විදියට, වැඩි efficiency එකක් තියෙන විදියට ලියන්න කියන්නේ. එවිට තමයි ඒ ලියන ප්‍රෝග‍්‍රෑම් එකෙන් වැඩි ප‍්‍රතිඵල ගන්න වගේම වැඩිදියුණු කිරීමක් පහසුවෙන් කරන්න පුලූවන් වෙන්නේ. මේ ආකාරයටම ඬේටාබේස් එකක් පවා යම්කිසි පිලිවෙලකට පවත්වාගැනීමේ වාසි තියෙනවා. මේ නිසා ඬේටාබේස් එකක් ආවාට ගියාට පවත්වාගන්නවා වෙනුවට හොඳින් කලමණාකරණය කිරීම අත්‍යාවශ්‍ය දෙයක්. අන්න ඒක නිවැරදිව කරන විදිය තමයි මෙම ලිපි මාලාවේ අන්තර්ගතය වෙන්නේ.
ලබන මාසයේ නැවත අපි හමුවෙන්නේ Database Architecture සහ Relational Data Model ගැන සාකච්ඡුා කරන්නටයි. එතෙක් සමුගන්නට අවසර !




Post new comment