සිංහල බ්ලොග්කරුවන්ගේ ප්‍රථම හමුව

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය (http://www.sinhalabloggers.com) යනු ශ්‍රී ලංකාවේ විශාලතම බ්ලොග්කරුවන්ගේ එකමුතුවයැයි කිවහොත් නිවැරදිය. සිංහල බසින් බ්ලොග් ලියන බ්ලොග්කරුවන්ගෙන් සැදුම්ලත් එය අන්තර්ජාලයේ සිංහල යුනිකෝඩ් අන්තර්ගතය වැඩිකිරීමේ පරමාර්ථයෙන් හරියටම මීට වසර දෙකකට ඉහතදී ආරම්භ කරන ලදී. සිංහලෙන් බ්ලොග් ලියන හා කියවන අය අතර සංවාදයක් ගොඩනැංවීමේ අරමුණින් ගූග්ල් සමූහයක් (http://sinhalabloggers.com/group) ලෙස ඇරඹුනු එහි දැනට සාමාජිකයන් 930කට වැඩි පිරිසක් සාමාජිකත්වය ලබයි. පසුකාලීනව සිංහල යුනිකෝඩ් මගින් ලියන සාමාජිකයන්ගේ බ්ලොග් වෙත පාඨක පිරිසක් සපයා දීම සඳහා බ්ලොග් කියවනයක් (http://blogs.sinhalabloggers.com/) ද ආරම්භ කරන ලදී, මෙය දැනට සිංහල යුනිකේත මගින් ලියන බ්ලොග් අඩවි 550 කට වැඩි ප්‍රමාණයක් ඇතුලත්ය.
මෙසේ දෙවසරක් එකිනෙකාගේ බ්ලොග් කියවමින්, ගූග්ල් සමූහය හරහා සංවාද කරමින් අන්තර්ජාලයේ දී හමුවූ සිංහල බ්ලොග්කරුවන් පසුගිය දෙසැම්බර් 19 වෙනි දින කොලඹ 10, Excel World හිදී හමුවක් පැවැත්වූහ. මෙය ප්‍රථම සිංහල බ්ලොග්කරුවන්ගේ හමුව ලෙස ඉතිහාසගත වනු ඇත. සමූහයක් ලෙස ශක්තිමත්ව එකමුතු වීමට අන්තර්ජාලය තුල පමණක් නොව සැබෑ ලෝකය තුල ද සම්බන්ධතා ඇතිවිය යුතුය යන අදහස පෙරදැරිවය මෙම හමුව සංවිධානය වූයේ. උදෑසන 11 සිට සවස 3 දක්වා පැවැත්වූ මෙහි අංගයන් වූයේ රැස්වීමක් හා ප්‍රිය සම්භාෂණයකි.
60 දෙනෙකුගේ පමණ සහභාගීත්වයෙන් රැස්වීම උදෑසන 11 ට ආරම්භ වූයේ Excel World හි සමුළු ශාලාවේදීය. මෙහිදී මුලින්ම සිදුවූයේ පැමිණ සිටි බ්ලොග් ලියන්නන් හා පාඨකයන් තමන් පිලිබඳව කෙටි හැඳින්වීමක් සභාව වෙත ඉදිරිපත් කිරීමයි. අන්තර්ජාලයේදී පමණක් දැන සිටි බොහෝ දෙනා හැබැහින් හඳුනා ගන්නට එහිදී සැමදෙනාටම අවස්ථාව ලැබිණි. බ්ලොග්කරුවන් කිහිපදෙනෙකුම විදේශවල සිට මෙම අවස්ථාවට සහභාගීවීම සඳහා පැමිණ සිටීම විශේෂ කරුණකි. මෙම අවස්ථාවට මාධ්‍යවේදියෙකු වන චානුක වත්තේගම මහතාද සහභාගී විය.
මීලඟට සංසදයේ පරිපාලකවරුන් වෙනුවෙන් සභාව ඇමතූ කාලිංග ඇතුලත්මුදලි විසින් සංසදයේ ඉතිහාසය පිලිබඳව සභාව දැනුවත් කිරීමක් සිදුකල අතර සංසදය පවතින්නේ කුමක් සඳහාද යන්නත් සංසදයේ අරමුණු මොනවාද යන්නත් සභාව වෙත ඉදිරිපත් කරනු ලැබිණි. ඉන් අනතුරුව දසුන් සමීර වීරසිංහ විසින් සිංහල යුනිකෝඩ් වල සැකැස්ම හා තාක්ෂණික පසුබිම පිලිබඳව කුඩා දැනුවත්කිරීමක් සිදුකරනු ලැබිණි.
ඉංග්‍රීසි වදන් වෙනුවට සිංහල වදන් භාවිතය පිලිබඳව සභාවේ සංවාදයක් ඇරඹුනු අතර සියලුදෙනාම පාහේ සිය අදහස් පලකරමින් ඊට සම්බන්ධ වූහ. මෙහිදී චානුක වත්තේගම, බන්දුල රණතුංග යන මහත්වරුන් විසින්ද ඒ සම්බන්ධව සිය අදහස් පලකරන ලදී. ඉන් අනතුරුව සංසදයේ වත්මන් පරිපාලකවරුන් වන ශ්‍රීශානු ලොකුපතිරගේ(http://srishanu.blogspot.com/), සුපුන් සුදාරක (http://blog.sudaraka.com/), කාලිංග ඇතුලත්මුදලි(http://sinhala.kalingasblog.com/), බුද්ධික ජයසිංහ, සු හේවාවසම් (http://suonline.blogspot.com), තිලිණ ගුණසේකර (http://thilspage.blogspot.com/) හා ප්‍රවීන් ඉන්ද්‍රනාම (http://blog.indranama.com/) යන අය සභාවට හඳුන්වාදෙන ලද අතර සමුහයේ ආරම්භක පරිපාලකයකු වන මලින්ත සමරකෝන් (http://blog.malinthe.com/) ද, ආදි පරිපාලකයෙකු වූ දසුන් සමීර වීරසිංහ (http://dasunsameera.blogspot.com/) ද හදුන්වා දෙන ලදී. රැස්වීම අවසන්වූයේ බ්ලොග්කරුවන් වෙනුවෙන් කුෂාන් වන්නිආරච්චි (http://sithangi.blogspot.com/) විසින් සිදුකල ස්තූති කතාවකිනි. මෙදින හමුවට සහභාගී වු බ්ලොග්කරුවන් අතරින් කැමැත්ත පලකල අය සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ තීරණ ගැනීමේදී ඡන්දය පාවිච්චි කිරීමට අයිතිය ඇති කණ්ඩායමට බඳවා ගන්නා ලදී.
ඉන්පසුව දිවා ආහාරය හා ප්‍රිය සම්භාෂණය ඇරඹුනු අතර මෙම අවස්ථාව බ්ලොග්කරුවන්ට පෞද්ගලිකව එකිනෙකා දැන හඳුනාගෙන කතාබස් කරන්නට මහඟු අවස්ථාවක් විය. අවසානයේ සමූහ ඡායාරූපයකටද පෙනීසිටි පිරිස පස්වරු 3ට විසිරගියේ මින්පසු සෑම වසරක් පාසාම බ්ලොග්කරුවන්ගේ සුහද හමු පැවැත්විය යුතුය යන අධිෂ්ඨානයෙන් යුතුවය.




Post new comment